Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Friday, October 4, 2013

සිතැඟි - සාගරයෙන් ගෙනා දිය බිදුව

ප්‍රථම වතාවට 2011 අගෝස්තු මස 28 වැනි දින ෆේස්බුක් වෙබ් අඩවියේ මිතුරු සමූහයක් (Group) ලෙසින් එලි දැක්වීය. මෙහි ඒකායන අරමුණ වූයේ එකිනෙක අතර ඇති වන්නා වූ අධ්‍යාපනිකමය ගැට‍ළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමයි. ඉතා ඉක්මනින් ප්‍රචලිත වන්නට වූ මෙම සමූහය නව පරිපාලකයන් කීප දෙනෙක් හා වෙනස් වීම් රැසක් සමඟින් දිනෙන් දින නව මුහුණුවරින් එක් කර ගනිමින් දියුණු වන්නට විය. මේ කාලය වන විට ලංකාව තුල තොරතුරු හා සන්නිවේදනය ආශ්‍රිත අංශ අධි ශීඝ්‍රතාවයකින් ප්‍රචලිත වෙමින් පැවති කාලයක් වූ නිසා වෙන් ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතා කරන්නට එක් වූ අධ්‍යාපනය හා සම්බන්ධ බොහෝ පිරිසක් මේ හා එක් විය.

පළමු ව අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ම පමණක් ඉලක්ක ගත වූ මෙම සමූහය සියළුම විශයන් මට්ටම් සඳහා තෝතැන්නක් බවට පත් කිරීමට පරිපාලකයන් පෙලඹුණේ නිතැතින් ම වේ...

පසුව මෙම සමූහයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මතින් හා ඔවුන්ගේ කැපවීම මතින් පරිපාලකයන් විසින් අධ්‍යාපනික දැනුම ගොනු කිරීමෙහි ලා නව කාර්යයක් ලෙසින් alhelp.blogspot.com බ්ලොග් අඩවිය ඇරඹීම සිදු විය. ඒ බ්ලොග් අඩවිය ශ්‍රී ලාංකික පාඨකයන් වැලඳ ගනිද්දී විශාල පිරිසක ගේ ඉල්ලීම අනුව පරිපාලකයන් තිදෙනාගේ මහත් වූ කැපවීම හා මහන්සිය මතින් alhelp.org යනුවෙන් නව නාමයක්, මුහුණතක් සමඟින් සමූහය නව පණක් ලැබීය. මෙය ලංකාවේ ප්‍රථම වතාවට මෙවැනි අදහසක් පදනම් වූ ලාභ නො ලබන ආයතනයක් (org) වශයෙන් එළිදැක්වුන ප්‍රථම හා දැනටත් එක ම සමූහය වේ. පරිපාලකයන් තිදෙනාගේ, අඩවියේ රචකයන් හා හය දහසකට අධික ලංකාව පුරා විසුරනු සාමාජිකයන්ගේ කැපවීම හා දහදිය කදුලු මතින් මේ තාක් දුර එන්නට ලැබීම අප සැමගේ මහත් වූ භාග්‍යකි.

සිතැඟි - සාග‍රයෙන් ගෙනා දිය බිඳුව

සිතැඟි බිහි වන්නේ මෙම සමූහයේ අනාගත අදහස් ගොන්නෙන් එකක් පණ ලැබීමක් වශයෙනි. අධ්‍යාපනය අරමුණ කර ගනු ලැබූ මෙම සමූහයේ බීජයේ අධිරෝපණය උදෙසා ගොඩ නගන්නා වූ සමාජීය මෙහෙවරෙහි පදනම් ගල තබන්නට කපන පස් පිඩැල්ලක් යනුවෙන් සිතැඟි හැදින්විය හැකිය. සිතැඟි යනු එක් පිඬැල්ලකින් එක් දිය බිඳුවකින් නවතින්නෙක් නොවන බව සිතහි සනිටුහන් කර ගත යුතු වේ. බොහෝ පිරිසක ගේ නො මසුරු දායකත්වය මතින් ඉදිරිය බලා ඇදෙන දීර්ඝ ගමනක පළමුවැනි පියවරයි සිතැඟි.

සිතැඟි සඳහා අරමුදල්.

කිසිම ලාභාපේක්ෂාවකින් තොර ව මෙම සමූහය මෙහෙයවන අතර, සිතැඟි සඳහා අරමුදල් එක් කරනු ලබන්නේ කිසිදු විශේෂ ක්‍රමයකට නොවේ. සිතැඟි සඳහා දිය බිඳු එක් කරන ඔබගේ හා සමූහය මඟින් සිදු කරන්නා වූ විවිධ කාර්යයන් මඟින් ලැබෙන මුදල් සියල්ල මේ කටයුතු සඳහා පූර්ණ විනිවිද භාවයකින් යුක්ත ව එක් වේ.

සිතැඟි කා සඳහා ද?


සිතැඟි වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනයට දක්ෂ අදක්ෂ භේදයකින් තොර ව අඩු ආදායම් ලාභි පවුල් වල දරුවන් සඳහා අත්වැල් පවුරක් වීමයි. මේ සඳහා ළමුන් තෝරා ගැනීම දුෂ්කර පළාත් වල පාසල් වල විදුහල්පතිවරුන්, පාසල් උපදේශන සේවා වන් ආදී විවිධ ක්‍රම මඟින් සිදු කරනු ලබන අතර, ඒ අතුරින් තෝරා ගන්නා සිසුන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා උපකාර කිරීම සිතැඟි දිය බිදුවේ කාර්යය වේ.

Saturday, March 30, 2013

මේ රටේ අනාගතය උදෙසාය ! alhelp.org/apply/


අපට ඇත්තේ අරමුණු දෙකකි එකක් ඔබ ගැන අනික රට ගැන.www.alhelp.org හි සාඩම්බර රචකයකු වීමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ! මේ රටේ අනාගතය උදෙසාය!
 

ශ්‍රී ලාංකිකයන්ට පිදෙන ස්වර්ණමය තිළිණය,
 
ෆේස්බුක් ගෲපයක් බ්ලොග් අඩවියකින් එහා මායිමකට "අන්තර්ජාලයේ නැණ නුවණ ‍තෝතැන්න " A/L උදව් අධ්‍යාපන ‍තෝතැන්න දැන් වෙබ් අඩවියක.
ස්වර්ණමය භූමියෙන් එහා ඉලෙක්ට්‍රෝනික් අවකාශයේ දැයේ බුද්ධියේ තර්කාන්විත අනාගත පරපුරක් උදෙසා මෙසේ අඩහැර පාන්නට සුදානම් වන්නේය.  
"සූදානම් කරගන්න ඔබගේ දැනුම.තර්කානුකූලව සටන් කරන්න.බුද්ධියේ මහිම කියා පාන්නට." - ඔබ ඔබම වන්න.
බුද්ධියේ , තර්කයේ , දැනුමේ යුද ගිනි අවුලන්නට අප සුදානම්.
© 2013 A/L උදව් අධ්‍යාපන ‍තෝතැන්න .

http://3.bp.blogspot.com/-iOG8x-a2F08/UVakmu2POiI/AAAAAAAABeM/y3MlUFCqB5c/s1600/alhelp.jpg

Tuesday, February 26, 2013

ආදරණීය ගුරුතුමනි !



ආදරණීය ගුරුතුමනි,

මම නාසි සිරකඳවුරකින් මිදී පළා ආවෙක්මි.
බොහෝ මිනිසුන් විසින් නොදුටු, නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි.
උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු...
දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුනට විෂ එන්නත් කරන අයුරු...
පුහුණුව ලත් හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...
උපාධිධරයන් විසින් ගැහැණුන් සහ ළමයින් මරා පුළුස්සන අයුරු...මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි.
මගේ ඉල්ලීම, ගුරුවරුන් කියාදිය යුත්තේ සිසුන්ට මානව දයාවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි.
ඔබේ උත්සාහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයන්, දක්ෂ යක්ෂයන් දායාද කළ යුතු නැත.

කියවීම, ලිවීම, ගණිතය, ඉතිහාසය වැදගත් වන්නේ ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට කියාදෙන්නේ නම් පමණි...


හිට්ලර්ගේ ග්‍රහණයෙන් පළා ආ යුදෙව් ළමයෙකුගේ සටහන් පොතක පිටුවකිනි....




කන්නන්ගර දරුවෝ බ්ලොග් පි‍ටුවෙන් උපුටා පල කරණ ලදී.

Tuesday, February 12, 2013

නිදහස් අධ්‍යාපනය | Free Education


අතීත කතාව
ලේඛකයාට කැබිතිගොල්ලෑවේ එච්. එම්. මුනිදාස (නම, ගම අන්වර්ථය) හමුවන්නේ Daily Mirror පත්තරයේ කොලම් සෙන්ටිමීටර් දහයකට නොවැඩි තරමේ දැන්වීමක් තුළිනි. මුනිදාස තම පුතුගේ ස්නා‍යු සැත්කමක් කර ගැනීම සඳහා මූල්‍යාධාර අයදියි. ඔහුගේ අවශ්‍යතාව ලොකු ගණනක් නොවේ. මතක හැටියට ලක්ෂ දහයකට අඩුය. වෙනත් බොහෝදෙනකු බලපොරොත්තුවන මුදල මෙන් පංගුවකි. කවර හෝ හේතුවක් නිසා මේ දැන්වීම තවත් එවන් දැන්වීම් සිය දහස් ගණනක් අතර ලේඛකයාගේ අනුකම්පාව දිනා ගනී. ශක්ති ප්‍රමාණයෙන් ආධාර මුදලක් තැපැල් කරන්නට ඔහු පෙළඹෙන්නේ ඒ අනුවය.

Tuesday, January 22, 2013

පරමාණුක වර්ණාවලි 2

පරමාණුක වර්ණාවලි 2


                                             පරමාණුක වර්ණාවලි 1  ලිපියෙන් ඔබ පරමාණුක වර්ණාවලි ගැන මූලික අවබෝධයක් ලබා ගෙන ඇතැයි මම සිතමි. මෙම ලිපිය යටතේ අපි පරමාණුක වර්ණාවලි තිවීම ගැන සහ හයිඩ්‍රජන් හි පරමාණුක වර්ණාවලිය ගැන අධ්‍යනය කරමු. 
                         
                                             1913 දී නීල්ස් බෝර්, මැක්ස් ප්ලාන්ක් හා ජොහැන්ස් රයිඩ්බර්ග් ගේ සොයාගැනිම් අනුව යමින් පරමාණුක වර්ණාවලි ඇති වීම පැහැදිලි කිරීම සඳහා නව පරමාණුක ආකෘතියක් ඉදිරිපත් කරන ලදී. එය නව පරමාණුක අකෘතියක් සේ හැදින්වූවත් එය රදර්ෆර්ඩ් ගේ පරමාණුක කෘතියේම විකරණයක් ලෙස මට හැඟේ. 

                                             සත්‍ය වශයෙන් පැවසුවොත් නීල්ස් බෝර් රදර්ෆර්ඩ් ට වඩා කරුණු කිහිපයක් සඳහන් කරයි. එවා නම්,
 
        1.  පරමාණුවක ඉලෙක්ට්‍රෝන ක්වොන්ටණීකරනය වූ නිශ්චිත ශක්ති මට්ටම් වල පවතී.එම ශක්ති මට්ටමේ සිටින තාක් එය ශක්තිය අවශෝෂණය හෝ විමෝචනය නොකරයි.
        2. ඉලෙක්ට්‍රෝනයකට ශක්තිය ලබා ගනිමින් ඉහළ ශක්ති මට්ටමකට ත් ශක්තිය පිට කරමින් පහළ ශක්ති මට්ටමකට ත් ගමන් කළ හැකිය.
        3.  ඉලෙක්ට්‍රෝන පැවතිය හැකි ශක්ති මට්ටම් වල ශක්ති අගය වැඩිවන විට එම ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය අඩු වේ.


                                            මේවා කියවූ සැණින් ඔබට නොවැටහුණි නම් එය අරුමයක් නොවේ. මන්ද මෙය ගැඹුරු සිංහල වහරක් භාවිතයෙන් ප්‍රකාශ කර ඇති නිසාය. බොහෝ අය මෙවැනි අසීරු සිංහල වදන් කට පාඩම් කිරීමට ගොසින් අමාරුවේ වැටී "පරමාණුක වර්ණාවලි නම් එපා වෙනවා. ගොඩක් පාඩම් කරන්න තියනවානෙ" යයි පවසයි. මාගේ උපදේශය නම් පාඩම් කිරීමට ප්‍රථම ඔබ පාඩම් කරන දෙය අවබෝධ කර ගත්තා නම් මෙහි පාඩම් කිරීමට ඇති දෙයක් නැති බව ඔබටම වැටහේවි
  
                                           අපි බෝර් ගේ ශක්ති මට්ටම් සංකල්පය පැහැදිලි කර ගනිමු. මුලින්ම පහත රූපයේ පරිදි ශක්ති ප්‍රස්තාරයක් ඇඳීමට සූදානම් වෙන පරිදි සිරස්ව ශක්ති(E) අක්ෂයක් ඇඳ ගනිමු.
 

 

                          

                     
                                        මෙහි e1 හා e2 යනු අනුයාත ශක්ති අගයන් 2ක් යයි ගනිමු. බෝර් සඳහන් කරන්නේ ඉලෙක්ට්‍රෝනයක් e1 හෝ e2 වැනි නිශ්චිත ශක්ති අගයක පවතින බවයි. එනම් මම මෙහි තිරස්ව ඇඳ ඇති එක් එක් ඉරක් බෝර්ගේ ශක්ති මට්ටමකි.  
                                         
                                           මෙහි එන "ක්වොන්ටීකරනය" යන වදනට ඔබ බිය විය යුතු නැත. එය මෙසේය. මැක්ස් ප්ලාන්ක් පවසන පරිදි ශක්තිය අංශු අංශු ලෙස පවතී. එම නිසා ශක්ති(E) අක්ෂයේ අනුයාත ශක්ති අගයන් දෙකක් සම්පූර්ණයෙන් වෙන් වී පවතී. එනම් මෙහි මම පෙන්වන එක ඉරක් පෙන්වන්නේ ශක්ති පරාසයක් නොව එක් ශක්ති අගයක් පමණකි. "ක්වොන්ටීකරනය වී ඇත" යන්නේ අදහස එයයි. එම නිසා ඉලෙක්ට්‍රෝනයක් මෙම ශක්ති මට්ටමක පවතින තාක් එහි ශක්තිය නොවෙනස් පවතී.
                                    
                                 
                                             ඉහත දෑ පැවසූ සැණකින් ඔබට දෙවෙනි වගන්තියේ පැවසූ දෙය වැටහෙන්නට ඇති. කරුණාකර මෙය තවත් ප්‍රස්තාරයක් ලෙස පමණක් සලකන්න. මෙහි e2 මට්ටමේ ශක්තිය > e1 මට්ටමේ ශක්තිය බව බැලූ පමණින් ඔබට සිතා ගත හැකිය. එම නිසා e1 පවතින ඉලෙක්ට්‍රෝනයක් e2 ශක්ති මට්ටමට යාමට නම් එයට ශක්තිය අවශ්‍ය වේ. එම නිසා ශක්තිය ලබාගෙන ඉලෙක්ට්‍රෝනයකට ඉහළ ශක්ති මට්ටමකට ළඟා විය හැකිය
                         එමෙන්ම එහි ඇති ශක්තියෙන් කොටසක් පිට කර පහළ ශක්ති මට්ටමකට යාමේ හැකියාවද ඉලෙක්ට්‍රෝනයට පවතී.( ප්‍රස්තාරයට අනුව සිතන්න ). 

                                 
                        ඉහත දක්වා ඇති තෙවන වගන්තිය බෝර් විසින් පවසා ඇත්තේ රයිඩ්බර්ග් සමීකරණය සලකායි. එය පැහැදිලි කිරීමට රයිඩ්බර්ග් සමීකරණය අවශ්‍ය වන නිසා එය පමණක් දත්තයක් ලෙස මතක තබා ගැනිම යෝග්‍ය වේ

   අවශෝෂණ වර්ණාවලිය ඇති වන ආකාරය පැහැදිලි කිරීම.

  

                     මැක්ස් ප්ලාන්ක් සඳහන් කරන ලද පරිදි ක්වොන්ටම් අංශු පැකැට්ටුවක ( ක්වොන්ටාවක ) ශක්තිය E නම්,

                   E= hf   වේ. මෙහි h යනු ප්ලාන්ක්ගේ නියතයයි.  h =  
6.62606957(29)×10−34    

                                      ඉහත සඳහන් කල උදාහරණයම අපි ගනිමු. ඉලෙක්ට්‍රෝනයක් විද්‍යුත් චුම්බක තරංග වල ශක්තිය ලබාගෙන e1 ශක්ති මට්ටමේ සිට e2 ශක්ති මට්ටමට ගියේ යයි සිතමු

                
             ඉලෙක්ට්‍රෝනය ලබා ගත් ශක්තිය =  e2 - e1 
           මෙය ඉලෙක්ට්‍රෝනය ලබා ගන්නේ ක්වොන්ටා එකකිනි. ඉලෙක්ට්‍රෝනය ලබා ගත් එම ක්වොන්ටාවේ සංඛ්‍යාතය f නම්, 
                  e2 -e1 = hf              
                   f   = (e2-e1) / h
         ඉලෙක්ට්‍රෝනයේ මෙම ශක්ති වැඩිවීම සඳහා සැම විටකම ශක්තිය ලබා ගන්නේ ඉහත සංඛ්‍යාතයෙන් යුතු "ක්වොන්ටා" වලින් පමණි.

                    සංයෝගයේ ඇති මෙම ඉලෙක්ට්‍රෝන මගින් මෙම සංඛ්‍යාතයෙන් යුතු ක්වොන්ටා අවශෝෂණය කරන බැවින් මෙය හරහා ගොස් පිටවී යන විද්‍යුත් චුම්බක තරංග වල මෙම සංඛ්‍යාතය දක්නට නොලැබේ. එම නිසා මෙය හරහා ගොස් පිටවී යන විද්‍යුත් චුම්බක තරංගය විභේදනය කර බැලූ විට මෙම සංඛ්‍යාතයට අදාළ වර්ණය දක්නට නොලැබෙන අතර එම වර්ණය තිබිය යුතු ස්ථානය අඳුරු පැහැයෙන් තිබේ.

     විමෝචනය වර්ණාවලිය ඇති වන ආකාරය පැහැදිලි කිරීම.

                               
                                 දැන් අපි e2 ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය පිටකර e1 ශක්ති මට්ටමට ගියේ යයි සිතමු.
 

                    
                      ඉලෙක්ට්‍රෝනය පිට කල ශක්තිය = e2-e1 
                      මෙය ඉලෙක්ට්‍රෝනය පිට කරන්නේ ක්වොන්ටා එකකිනි. ඉලෙක්ට්‍රෝනය පිට කල එම ක්වොන්ටාවේ සංඛ්‍යාතය f නම්, 
                  e2 -e1 = hf              
                   f   = (e2-e1) / h
         ඉලෙක්ට්‍රෝනයේ මෙම ශක්ති වැඩිවීම සඳහා සැම විටකම පිට කරන්නේ ඉහත සංඛ්‍යාතයෙන් යුතු "ක්වොන්ටා" වලින් පමණි.

                    සංයෝගයේ ඇති මෙම ඉලෙක්ට්‍රෝන මගින් මෙම සංඛ්‍යාතයෙන් යුතු ක්වොන්ටා විමෝචනය කරන බැවින් මෙයින් පිට කරන විද්‍යුත් චුම්බක තරංග වල මෙම සංඛ්‍යාතය දක්නට ලැබේ. එම නිසා මෙයින් පිට කරන විද්‍යුත් චුම්බක තරංගය විභේදනය කර බැලූ විට මෙම සංඛ්‍යාතයට අදාළ වර්ණය දක්නට ලැබේ. ( විමෝචන වර්ණාවලි ගැන පරමාණුක වර්ණාවලි 1 ලිපියෙහි අඩංගු කරුණු සලකන්න. )


   හයිඩ්‍රජන් වර්ණාවලිය ගැන අධ්‍යනය

             හයිඩ්‍රජන් පරමාණුවේ ඇති ප්‍රධාන ශක්ති මට්ටම් n1, n2, n3, .... ලෙසද, එම ශක්ති මට්ටම් වල ශක්තිය e1, e2, e3, ....  ලෙසද ලකුණු කර ගනිමු.


හයිඩ්‍රජන් වල අවශෝෂණ වර්ණාවලියට අදාල ඉලෙක්ට්‍රොනික සංක්‍රමණ

          හයිඩ්‍රජන් වල අවශෝෂණ වර්ණාවලිය පහත දැක්වේ.
    

            මෙය ඇති වන්නේ n2 ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන තමන් හරහා යන විද්‍යුත් චුම්බක තරංග වලින් ශක්තිය ලබාගෙන ඉහළ ශක්ති මට්ටම් වලට යාමෙනි.
      
          
    

හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියට අදාල ඉලෙක්ට්‍රොනික සංක්‍රමණ

             හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය පහත දැක්වේ.


    

                    හයිඩ්‍රජන් වායුවට රත් කර හෝ පුළිඟු පැන්නවීමෙන් ලබා දෙන ශක්තිය හේතුවෙන් එහි H පරමාණුවල භූමිගත අවස්ථාවේ පවතින ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වලට යයි. නමුත් එය අස්ථායී තත්වයක් නිසා එම ඉලෙක්ට්‍රෝන නැවත පහළ ඇති ශක්ති මට්ටම් වලට පැමිණේ. මෙසේ ඉහළ ශක්ති මට්ටම් වල සිට n2 ශක්ති මට්ටමට පැමිණෙන ඉලෙක්ට්‍රෝන නිසා මෙම විමෝචන වර්ණාවලිය සෑදේ.
 


    

     

   හයිඩ්‍රජන් සමස්ත වර්ණාවලිය

 හයිඩ්‍රජන් හි සමස්ත වර්ණාවලියේ අපට වැදගත් වන ශ්‍රේණි 4ක් පවතී.

     1.  ලැයිමාන් ශ්‍රේණිය
     2.  බාමර් ශ්‍රේණිය
     3.  පාශන් ශ්‍රේණිය
     4.  බ්‍රැකට් ශ්‍රේණිය

               හයිඩ්‍රජන් වල සමස්ත වර්ණාවලිය පහත පරිදි වේ.



                  මෙහි දෘශ්‍ය කලාපයට ඇතුළත් වන්නේ බාමර් ශ්‍රේණිය පමණි. එම නිසා අපට පියවි ඇසට පෙනෙන හයිඩ්‍රජන් වර්ණාවලිය ඉහත කොටසේ සාකච්ඡා කල වර්ණාවලිය වේ.

           
මෙය ඇති වන ආකාරය අපි විමෝචන වර්ණාවලියකින් පැහැදිලි කර ගනිමු.


      
              මෙහි ඔබ දැන ගත යුතු විශේෂ කරුණු කිහිපයකි.

                    මැක්ස් ප්ලාන්ක් ට අනුව E = hf නිසා වැඩිම සංඛ්‍යාතයක් සහිත තරංගයට අදාළ ක්වොන්ටා නිකුත් කරන්නේ වැඩිම ශක්ති වෙනසක් සහිතව ශක්ති මට්ටම් අතර හුවමාරු වන ඉලෙක්ට්‍රෝනයයි. එසේ වැඩිම ශක්ති අන්තරයක් ත්තේ පළමුවෙනි ශක්ති මට්ටම හා අනන්තය වැනි ශක්ති මට්ටම අතරයි.   

                         එම නිසා හයිඩ්‍රජන් වර්ණාවලියේ වැඩිම සංඛ්‍යාතය ඇති රේඛාව වන්නේ ලයිමාන් ශ්‍රේණියේ අනන්තය වැනි ශක්ති මට්ටමේ සිට පළමුවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනය චලනය වීම නිසා ඇති වන රේඛාවයි. 
             f    1/තරංග ආයාමය   නිසා අවම තරංග ආයාමය ඇත්තේ ද මෙම රේඛාවටම වේ. 




කතෘ අයිතිය රජිත රාමනායක සතු ය.

රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.



Sunday, January 6, 2013

පරමාණුක වර්ණාවලි 1

පරමාණුක වර්ණාවලි (1)

          බොහොමයක් සිසුන්ට ( මමද ඇතුළුව ) රසායන විද්‍යාවේ අසීරු යැයි පවසන කොටසක් වන්නේ වර්ණාවලි පිළිබඳ අධ්‍යනයයි. මේ නිසා පරමාණුක වර්ණාවලි පිළිබඳව ලිපියක් ලිවීමට මම අදහස් කළෙමි.

                    පරමාණුක වර්ණාවලි ගැන කතා කිරීමට කලින් අපි ක්වොන්ටම් වාදය ගැන දැන ගැනීම වැදගත් යයි මට හැඟේ.   
      
                  විසි වන සියවස මුල් භාගයේදී පෘථිවියේ විද්‍යාඥයන්ට එතෙක් තිබූ දැනුමෙන් විසදා ගැනිමට නොහැකිව තිබූ ගැටලු 2ක් පැවතිණි
                   1.  ප්‍රකාශ විද්‍යුත් ආචරණය
                   2.  පරමාණුක වර්ණාවලි
                                            මැක්ස් ප්ලාන්ක් ඉදිරිපත් කළ ක්වොන්ටම් වාදයෙන් මෙ ගැටලු සඳහා හොඳ පිළිතුරු ලැබිණි. 

                   1873 දී ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල් දෘශ්‍ය ආලෝකය විද්‍යුත් චුම්බක තරංග වලින් සමන්විත බවට යෝජනා කළේය. එමෙන්ම රූපවාහිනී, ගුවන් විදුලි තරංග, ක්ෂුද්‍ර තරංග, අධෝරක්ත කිරණ, පාරජම්බුල කිරණ, x කිරණ, ගැමා කිරණ ලෙසද මේවා වර්ග කළ හැකිය.

                     
                  ඉහත දැක්වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග, සංඛ්‍යාතය අනුව විභේදනය කර දක්වා ඇති සටහනකි. ඉහත ලෙස ඇති සටහන් වර්ණාවලි ලෙස හදුන්වනු ලැබේ. ඒ අනුව ඉහත දක්වා ඇත්තේ විද්‍යුත් චුම්බක වර්ණාවලියයි.

                  20 වැනි සියවස ආරම්භය වන තෙක්ම විකිරණය ගැන පැහැදිලි කිරීමට තිබූ එකම සංකල්පය මැක්ස්වෙල් ගේ විද්‍යුත් චුම්බක තරංග වාදයයි. නමුත් මෙය සඳහා මැක්ස් ප්ලාන්ක් අලුත්ම අදහසක් ගෙනෙන ලදී.  
                  
                  "ශක්තිය විකිරණය වන්නේ ශක්ති අංශු වශයෙනි."

                  "
ක්වොන්ටම් යනු විකිරණය වන ශක්තියට පැවතිය හැකි කුඩාම අගය වන අතර වෙනත් ඕනෑම ශක්ති ප්‍රමාණයක් එහි පූර්ණ සංඛ්‍යාත්මක ගුනාකාරයකි
."

                 ක්වොන්ටම් අංශු "ෆෝටෝන" ලෙස ද හදුන්වනු ලැබේ.

                 දැන් පරමාණුක වර්ණාවලි ගැන විමසමු.  
           
                 පරමාණු අවශෝෂණය හෝ විමෝචනය කරන විද්‍යුත් චුම්බක තරංග හඳුනා ගැනීමේ අරමුණෙන් සකස් කරන වර්ණාවලියක් පරමාණුක වර්ණාවලියක් වේ.

පරමාණුක වර්ණාවලි කොටස් 2කි.
   1. අවශෝෂණ වර්ණාවලි
   2. විමෝචන වර්ණාවලි

             මූලද්‍රව්‍ය අවශෝෂණය කරන විද්‍යුත් චුම්බක තරංග හඳුනා ගැනීමට යොදාගන්නා වර්ණාවලි අවශෝෂණ වර්ණාවලි වේ.

  
              
         මූලද්‍රව්‍ය විමෝචනය කරන විද්‍යුත් චුම්බක තරංග හඳුනා ගැනීමට යොදාගන්නා වර්ණාවලි විමෝචනය වර්ණාවලි වේ.
 

         


               මෙයින් ඔබට අවශෝෂණ හා විමෝචන වර්ණාවළි අතර වෙනස පැහැදිළි කර ගත හැකිය. ඉහල දැක්වෙන්නේ අවශෝෂණ වර්ණාවලියක් වන අතර පහලින් විමෝචන වර්ණාවලියක් දැක්වේ.

    
                    
                 
              මූලික වශයෙන් පරමාණුක වර්ණාවලියක ගති ලක්ෂණ මෙසේය.

1. පරමාණුක වර්ණාවලි ( අවශෝෂණ  හා විමෝචන ) අසංතතිකය.  
2. අවශෝෂණ  වර්ණාවලියක පසුබිම වර්ණවත් වන අතර අවශෝෂණය වූ සංඛ්‍යාතයන් අඳුරු රේඛා වලින් පෙනේ.
3. විමෝචන  වර්ණාවලියක පසුබිම අඳුරු වන අතර විමෝචනය වූ සංඛ්‍යාතයන් වර්ණවත් රේඛා වලින් පෙනේ.
4. එකම මූලද්‍රව්‍යයේ අවශෝෂණ වර්ණාවලිය හා විමොචන වර්ණාවලිය සමපාත කළ විට සන්තතික වර්ණාවලියක් ලැබේ.  
  
5. යම් මූලද්‍රව්‍යක් සාදන අවශෝෂණ හා විමෝචන වර්ණාවලි එම මූලද්‍රව්‍ය සඳහා අනන්‍ය වේ.           
                 

කතෘ අයිතිය රජිත රාමනායක සතු ය.
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.

                               
Related Posts Plugin for WordPress, Blogger...