Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Tuesday, February 12, 2013

නිදහස් අධ්‍යාපනය | Free Education


අතීත කතාව
ලේඛකයාට කැබිතිගොල්ලෑවේ එච්. එම්. මුනිදාස (නම, ගම අන්වර්ථය) හමුවන්නේ Daily Mirror පත්තරයේ කොලම් සෙන්ටිමීටර් දහයකට නොවැඩි තරමේ දැන්වීමක් තුළිනි. මුනිදාස තම පුතුගේ ස්නා‍යු සැත්කමක් කර ගැනීම සඳහා මූල්‍යාධාර අයදියි. ඔහුගේ අවශ්‍යතාව ලොකු ගණනක් නොවේ. මතක හැටියට ලක්ෂ දහයකට අඩුය. වෙනත් බොහෝදෙනකු බලපොරොත්තුවන මුදල මෙන් පංගුවකි. කවර හෝ හේතුවක් නිසා මේ දැන්වීම තවත් එවන් දැන්වීම් සිය දහස් ගණනක් අතර ලේඛකයාගේ අනුකම්පාව දිනා ගනී. ශක්ති ප්‍රමාණයෙන් ආධාර මුදලක් තැපැල් කරන්නට ඔහු පෙළඹෙන්නේ ඒ අනුවය.

 
දින කිහිපයකින් අනුරාධපුර හුවමාරු අංකයකින් ඇමතුමක් ලැබේ. මුනිදාස රැකියාවෙන් ග්‍රාමාරක්ෂක භටයකු බවද එවකට වයස අවුරුදු දහයක් වන ඔහුගේ පුතාගේ නම නදීශ බවද ඔහු දැනගන්නේය. මේ පළමු ඇමතුම කෙටිය. පරිත්‍යාගය පිළිබඳව මුනිදාස ස්තූතිවන්ත වේ. සැත්කම නුදුරු දිනයක කරන්නට ඉඩ ඇතිබව ඔහු කියයි. ලේඛකයා සාම්ප්‍රදායික ලෙස එය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරයි.
මුනිදාස සේම ලේඛකයාද අනෙකුන්ට වෙනස් පුද්ගලයන් නොවී නම් මේ සම්බන්ධය එතැනින්ම බිඳ වැටෙන්නට තිබුණේය. නමුත් කවර හෝ හේතුවක් නිසා එසේ නොවීම ඔබට කියන්නට අපූරු කථාන්තරයක් ඉතිරි කරන්නේය.
මුනිදාස එක්කෝ ආරක්ෂක භටයකුට කිසිසේත් නොගැළපෙන ආකාරයේ හැඟුම්බර (emotional) පුද්ගලයෙකි. නැතිනම් සිය පුතු කෙරෙහි, යථාර්ථය ඉක්මවා යන්නා වූ අසීමිත ආදරයෙන් වෙළී ගිය පියෙකි. සැත්කම සඳහා පුතු කොළඹ රැගෙන ඒමට ආසන්න වන මොහොතේ සිට දින කිහිපයකට වරක් ලේඛකයාට කතා කරන ඔහු විද්‍යුත් තරංග ඔස්සේ වෛද්‍ය වර්තා ඇතුළු කිසිසේත් අනවශ්‍ය තොරතුරු ගොන්නක් මුදා හරී. (“අද පුතා ඇඩ්මිට් කළා සර්, ඩොක්ටර් නම් කිව්වෙ බය වෙන්ඩ දෙයක් නෑ කියලා. ඒත් කවුද දන්නෙ” හෝ “ලේ දෙන්න කිව්ව සර්. දෙන්නෙක් වත් හොයා ගන්ඩ ඕනෑ”)
රාත්‍රි දහයෙන් පසු ලැබෙන මේ ඇමතුම් ලේඛකයාට කරදරයකි. මුනිදාස තවත් මුදල් ඉල්ලනට එන්නේය යන අප්‍රසන්න හැඟීමද ඔහු පෙළයි. එහෙත් මුනිදාසගේ අභිප්‍රාය මුදල් නොව කවරකුට හෝ තම දුක්ගැනවිලි කියා සිත නිදහස් කර ගැනීම බව ඔහු ටික කලෙකින් අවබෝධ කොට ගනී. කරදරයක් වුව එවැන්නකුට “කතා කරන්නට එපා” කීම කරන්නට අසීරුය. මේ දරුණු සැත්කමකට මුහුණ දෙන්නට සූදානම් දරුවකුගේ පියෙකි. සැත්කම සාර්ථක වේද නොවේද යන්න සංශයකි. සාර්ථක වුව පුතු යළි පියවි තත්ත්වයට පැමිනේද යන්න ප්‍රශ්නාර්ථයකි. ටික කාලයකට මේ කරදරය ඉවසීමට ලේඛකයා තීරණය කරයි.
කතාවේ පළමු කොටස සුඛාන්තයකි. සැත්කම සාර්ථක වේ. පුතා සුවවී නිවසට ගෙනගියදා මුනිදාස ලේඛකයාට කතා කරයි. (“අපි සිරි මහ බෝධියටත් ගිහින් ආවේ සර්. මං සර්වත් මතක් කරලා පින් දුන්නා”)
වර්තමාන කතාව
වසරකට ටිකක් අඩු කාලයකට තුළ මුනිදාස නිහඬ වේ. ඉන්පසු හදිසියේ දිනෙක ඔහු කතා කරන්නේ දැඩි ආහ්ලාදයකිනි.
“පොඩි එකා ශිෂ්‍යත්වෙ පාස් සර්. ඔපරේෂන් එකට පන්ති පාළුවෙච්චි නිසා අපි හිතාගෙන හිටියෙ නෑ පාස් වෙයි කියලවත්. ඒත් හොඳට ලකුණු තියෙනවා.”
ලකුණු කීයදැයි මට නොකියන මුත් පසුගිය වසරේ තෝරාගත් ලකුණු අනුව රාජකීය විද්‍යාලයට පුතා දාගන්නට හැකි යැයි ඔහු සිතයි. (“මේ සැරේ පේපර් එක අමාරුයි ගිය සැරේට වඩා. ඒ හන්දා ඔය ලකුණු වලින් රෝයල් එකට යන්න බැරිවෙන එකක් නෑ.”)
පුතාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මම අසමි. මුනිදාසගේ හඬ මොහොතකට දුක්බර වේ.
“ලොකුම කරදරයක් කියලා දෙයක් නෑ සර්. ඒත් හිසේ රදේ හැදෙනවා වතාවකට. අපි අනුරාධපුර ඉස්පිරිතාලෙට ගිහින් පෙන්නුවා. ඒත් හරියට යමක් කියන්න බෑ කියලයි ඩොක්ටර්ස්ලා කියන්නේ.” මේ හඬට යටින් ඔහු නොකියන දෙයක් ඇති බව මට සිතේ. එහෙත් මම එය හාරා නාවුස්සමි.
ඊළඟ ඇමතුම එන්නේ අනපේක්ෂිත ලෙස දවල් වරුවේය. මුනිදාසගේ හඬේ ඇත්තේ ජයග්‍රාහී ස්වරූපයකි. “රෝයල් එක නම් හම්බ වුනේ නෑ සර්. නූලෙන් මිස් වුනේ. පුතාව ඩී. එස්. එකට දාගත්තා.”
මම ඔහුට සුබපතමි. මේ අනුරාධපුරයට නුදුරු ගමක හැදී වැඩුණු දරුවකුගේ ජීවිතයේ අතිශය වැදගත් අවස්ථාවකි. ඔහුගේ ජීවිතය වෙනස් විය යුතුය. අනාගතය යහපත් විය යුතුය. කැබිතිගොල්ලෑවේ කෙල්ලන් කොල්ලන්ද හැමදාම පොළොව කොට කොටා සිටිය යුතු නැත. ඔවුන්ද වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පරිගණක ශිල්පීන්, විද්‍යාඥයින්, රජයේ උසස් නිලධරයන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් විය යුතුය. දරුවකුගේ ජීවිතය වෙනස් කිරීමට සුළුවෙන් හෝ දායක වීමි යන සතුටින් මගේ හද පිරී යයි.
මින්පසු තවත් දීර්ඝකාලයකට මුනිදාස නිහඬ වෙයි. එය අවුරුද්දක් හෝ දෙකක් විය හැකිය. කාර්යබහුල ජීවිතය ලේඛකයාට සටහන් තබා ගැනීමේ ඉඩක් නොසපයයි.
මුනිදාස එවර කතා කරන්නේ දැඩි වැසි වැටෙන මූසල රාත්‍රියකය. ඉඳහිට විදිලියක් කොටා අහස ගුගුරා යයි. වැස්ස නිසා ඔහුගේ හඬ අපැහැදිළිය.
“අපට හරි කරදරයක් වෙලා සර්. උදව් කරන්න කවුරුත් නෑ.”
ප්‍රශ්නය කියැන්නයි මම කියමි.
“ඩී. එස්. එකට තේරුණාට සර්, අපි පුතාව දැම්මෙ නෑ. මොකද ඒ කාලෙත් පුතාට නිතරම නූනත් වරින්වර සැරේට හිස රදේ හැදුන. පුතාලගේ අම්ම දරුව කොළඹ එවන්ඩ කැමති උනේම නෑ. ඉතින් අපි ගමේ ඉස්කෝලෙ තියා ගත්ත.”
“දැන් කොහොමද?”
“දැන්නම් හොඳයි සර්. ඔපරේෂන් එක කරලත් කාලයක් වෙනවනෙ. පුතා යවන්නත් පුළුවන්. ඒත් දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියනවනෙ ළමයව ගන්ඩ බෑ කියල. තේරුණු අවුරුද්දෙම ඒ ඉස්කෝලෙට යන්න ඕනැලු”
මෙය යකාගේ නීතියකැයි මට සිතෙයි. ඉසුරුපායට ගොස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හමුවන වී කාරණය පැහැදිළි කොට කියන සේ මම උපදෙස් දෙමි.
“මම ඔය හැමෝම හම්බ උනා සර්. ඇමතිතුමත් හම්බවුනා. හැමෝම අන්තිමට මාව යවන්නෙ එකම තැනට. එතැනින් කීප සැරයක්ම ප්‍රතික්ෂේප වෙලා දැන් තවත් කියලා වැඩක් නෑ. මම ජනාධිපතිතුමාටත් ලිව්වා. ලියුම හම්බවුනාය කියනව එච්චරයි.”
මට ඔහුට දෙන්නට විසඳුමක් නැත. කළ හැක්කේ මේ කතාව අසා සිටීම පමණකි.
“සර් පුළුවන්නම් මට මේ උදව්ව කරන්න” ඔහු අවසානයේ කියයි. “මට ළමයව ඩී. එස්. එකට දාන්න ඕනැ නෑ දැන්. ඒක මේ කපේදි වෙන වැඩක් නෙවෙයි. අනේ සර් අඩු ගානෙ අනුරාධපුරේ නිවන්තක චේතිය එකට දාල දෙන්න. ඒකවත් කරන්න බෑය කියනවනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්. කොල්ලට ඉතුරුවෙලා තියෙන්නෙ දැන් ගමේ ඉස්කෝලෙ විතරයි. ඒකෙත් විද්‍යාවටයි ගණිතයටයි ගුරුවරු නෑ. කොහොම විභාග පාස් වෙන්නද සර්, ඒවයින්? ටියුෂන් නම් යනවා. ඒත් මෙහේ හොඳ පන්ති නෑ.”
වසර තිහක යුද්ධය නිමා කිරීම වෙනුවෙන් ජනතාව විසින් කිරිබත් කවන ලද ග්‍රාමාරක්ෂක භටයකුට නැති සිවිල් පිළිගැනීම මා වැනි සාමාන්‍ය පුරවැසියකුට රජයේ ආයතනයකින් ලැබෙතැයි සිතනු අසීරුය. මා දන්නා ප්‍රබල දේශපාලකයෝ නොවෙති. මම ඔහුට වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාගේ අංකය දෙමි. ඒ දැඩි බලාපොරොත්තු ඇතිව නොවේ.
කැබිතිගොල්ලෑවේ අහිංසක දරුවකුට තමා දැඩිලෙස කැපවීමෙන් දිනාගත් අවස්ථාව අනුව වඩා හොඳ පහසුකම් ඇති පාසලක් ලබා ගැනීම වළකන්නේ ඉසුරුපායේ නිලධරවාදය පමණක්ම නොවේ. මේ මුනිදාසලා හැමදාම රවටනු ලබන රාජ්‍යතන්ත්‍රයේ තවත් හපන්කමකි. වසර හයකට වතාවක් ඔවුන්ගෙන් බලාපොරොත්තුවන චන්දය උදෙසා ‘නිදහස් අධ්‍යාපනය’ නමින් කැරට් අලයක් මුනිදාසලාට දිගු වන්නේය. මේ සශ්‍රීකව වැඩුණු කැරට් අලයක් නොව, නොමේරූ, මැලැවී, මාන්දු වී ගිය කැරට් අලයකි. නිදහස් අධ්‍යාපනය නමින් මුනිදාසලාට ලැබෙන මේ කෙංගෙඩිය කොයිතරම් රැවටීමක්ද යන්න ඔහුට වැටහීමක් නොවේ. වැඩක් වන ආකාරයට නිදහස් අධ්‍යාපනයේ දොරටු විවර වන්නේ දුප්පතුන් අතුරින් ඉතාම සුළු කොටසකට පමණකි. (සංඛ්‍යාත්මකව මෙය 1% පමණ වේ යැයි සිතමි.) පළමුවන ශ්‍රේනියේ සිට සරසවිය දක්වා වැඩකට ඇති රැකියාවක් කළ හැකි ආකාරයේ අධ්‍යාපනයක් ලැබෙන්නේ දුප්පත් පවුල් වලින් මේ සුළු කොටසටය. ඉතිරි සියල්ලෝ එක්කෝ අතර මඟදී ක්‍රමයෙන් ඉවත විසිවෙති. නැතිනම් කිසිවකුට ඵලක් නොවන කලා විෂයයන් කිහිපයක් උගෙන රැකියාවක් නොලැබ දේශපාලකයින් පසුපස යති.
කැබිතිගොල්ලෑවේ හේරත් මුදියන්සේලාගේ නදීශ චාමින්දට ඇරෙන්නට ඔන්න මෙන්න කියා තිබූ දොර වැසෙන්නේද මේ විකල් ක්‍රියාවලියේම කොටසක් ලෙසිනි. දේශපාලකයින් නිදහස් අධ්‍යාපනයේ ඵල ලබන ලක්ෂ සංඛ්‍යාත සිසුසිසුවියන් අතුරින් කෙනකු ලෙස නදීශ හඳුන්නා දෙනු ඇත. මේ දරුවාට නිදහස් අධ්‍යාපනය කියා ලැබෙන්නේ බත් පිඟානක් නොව වෙනකකු කා ඉතිරි කළ ඉඳුල් පිඟානක් බවත්, කළ හැක්කේ එය ලෙවකෑම පමණක් බවත් කියන්නට කෙනක් නොවෙති. ඔහුට පාසලක් නොදී වල කපන ඉසුරුපායේ මහදැනමුත්තන්ට එයින් අඳුරුවන මේ දරුවාගේ අනාගතය ගැන කල්පනාවක් හෝ ඕනෑකමක් නැත. ඔවුන්ට අනුව දරුවකු පාසල් සමය තුළ යම් සෞඛ්‍ය ගැටළුවකට මැදිවන්නේ නම් කළ හැකි එකම දෙය ගමේ ඉස්කෝලයකට ඇතුළු කොට ඔහුගේ අනාගතය ලිපිකරු මට්ටමේ හෝ පහළ රැකියාවක සිර කිරීමය.
අවාසනාවන්තම කාරණය මේ උන්දලාද කොළඹ ඉපිද හැදී වැඩී රෝයල් එකට කාර් එකෙන් ගිය උදවිය නොව ගමේ ඉස්කෝලවලින් ශිෂ්‍යත්වය සමත් වී අනාගතය වෙනස් කර ගත්තවුන් වීමය. තමන් ලද අවස්ථාව වෙනුවෙන්වත් මේ දරුවා වෙනුවෙන් තීරණයක් ගන්නට කෙනක් මේ නිලධර පැළැන්තියේ නොවෙති. දරුවකුගේ අනාගතයට වඩා ඔවුන්ට චක්‍රලේඛ වැදගත්ය.
මම නදීශගේ කතාව වෘත්තීය සගයකුට කියමි.
“ඩී. එස්. එකේ ආදිශිෂ්‍ය සංගමේට කියලා බලන්ඩ පුළුවන්. ගාණක් දෙනව නම් දාන්ඩ බැරිවෙන එකක් නෑ.” ඔහු කියයි. මම කීයක්දැයි අසමි.
“ලක්ෂ තුනක් තුනහමාරක් වත් ඉල්ලයි. අඩුකරගන්ඩ බලමු.”
ලක්ෂ තුනක් නැති මුනිදාස, දේශප්‍රේමීන් වෙනුවෙන් රට රකිමින්, තවමත් තම පුතු කැබිතිගොල්ලෑවේ විද්‍යා ගණිත ගුරුවරුන් නැති පාසලකට යවනවා විය යුතුය. ඔහුට තම පුතා මෝඩයකු කිරීමේ නිදහස අධ්‍යාපනය තුළින් ලැබී ඇත්තේය.
  මේ ලිපිය ටැබූට උපහාරයක් වේවා!
--------------------------------------------------------------
Originally posted by Taboo on October 2009

www.taboosubjects.wordpress.com
-------------------------------------------------------------------------------------------------

Disclaimer

Posts on this blog was originally posted on http://taboosubjects.wordpress.com. None of the contents belong to me. This is just a humble attempt to keep his ideas alive in the cyber space.

3 comments:

  1. මේකට පිළිතුරක් ලියන්න වචන නැහැ...

    ReplyDelete
  2. mata wachana thiyenawa liyanna kammelyie

    ReplyDelete

එකතු කරන්න ඔබේ අදහස්.

Related Posts Plugin for WordPress, Blogger...